නිවාරණ

"මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය " යන තේමාව යටතේ කොළඹ විශ්ව විද්‍යාලීය ලියෝ සමාජය මගින් වසරක් පාසා සිදු කරන "නිවාරණ" ව්‍යාපෘතිය මෙවරත් අතිසාර්ථකව ආරම්භ කරන ලදි.

ස්වකීය සමාජ වගකීම නිවැරදිව වටහාගත් ලියෝවරුන් වශයෙන් මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් දිනෙන් දින ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට ඇති-හැකි අයුරින් කටයුතු කළ යුතුම ය.

"මත්ද්‍රව්‍ය" වයස් සීමාවකින් තොරව, ලොකු-කුඩා, ස්ත්‍රී-පුරුෂ සියල්ලන්ගේම මිතුරකු වී ඇති සමයක එය හුදෙක් හේතුකාරණා මත සාධාරණීකරණය නොකොට, මුලිනුපුටා දැමීමට නම්, එහි මූලයන් සමාජය තුළින්ම හඳුනාගත යුතු ය.

එහිලා, ව්‍යාපෘතියේ සමාරම්භක පළමු අදියර ලෙස මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල විදහා දැක්වෙන පරිදි කෙටි නාට්‍ය පිටපත් තරඟයක් සංවිධානය කරන ලදි.

විශේෂයෙන්ම එහිදි අප ලබා දුන් ආරම්භක පරිච්ඡේදය ඇසුරින් තරඟකරුවන්ට සිතැඟි අවසානයක් කරා ගමන් කරමින් පිටපත් නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන ලදි. එහිදී, වචන දහසකට නොවැඩි, ප්‍රසිද්ධ ස්ථානයක, ආයතනයක, පුද්ගලයෙකුගේ නම්-ගම් සදහන් නොවූ නාට්‍ය පිටපත් හැත්තෑවකට (70) අධික ප්‍රමාණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අප වෙත ඉදිරිපත් විය. තවද, මෙහි විශේෂත්වය වන්නේ, විවිධ ලියෝසමාජවල ලියෝවරු, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, උපාධි අපේක්ෂකයන්, විවිධ වෘත්තීන්හි නියැලෙන වෘත්තිකයන් මෙන්ම තවත් බොහෝ පිරිස් මෙම තරඟාවලියේ අගය වටහා ගනිමින් තම අදහස් මනාව ඔප්නැංවෙන අයුරින් නිර්මාණ ඉදිරිපත් කර තිබීමයි.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන ආකාර, ඒවායෙහි අහිතකර ප්‍රතිඵල, ඒවායින් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම සාමාන්‍ය ජීවිතයේ අප නොදකින- නොහිතන පැතිකඩයන් පවා ඔවුන් මනාව විවරණය කර තිබීම සැබවින්ම අගය කළ යුතු කරුණකි.

අප විසින් මෙම අදියරේදී බලාපොරොත්තු වූ ඍජු අරමුණෙහි ප්‍රතිඵල එසේ ඉටුවද්දි, එහි වක්‍රාකාර ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ලේඛන කුසලතා ආදිය ද නිරායාසයෙන්ම වර්ධනය වන්නට ඇත.

මේ සියල්ලට වටිනාකමක් එකතු කරනු වස්, ප්‍රවීණ සහ දක්ෂ විනිසුරුවරයකු වන "අනුජ දයාරත්න" මහතා වෙත නාට්‍ය පිටපත් සියල්ල ඉදිරිපත් කරමින් ජයග්‍රාහී නාට්‍ය පිටපත තෝරා ගැනීමටත්, එයට ත්‍යාග හා සහතිකපත් ලබා දීමට මෙන්ම තරඟයට සහභාගී වූ සැමට ද සහතිකපත් නිවසටම ලැබෙන්නට සලස්වන්නට කටයුතු සැලසුම් කර ඇත.

මෙහි වටිනාම ත්‍යාගය වන්නේ, තෝරා දෙනු ලබන එම ජයග්‍රාහී නාට්‍ය පිටපත් අනුසාරයෙන් කෙටි නාට්‍යයක් නිර්මාණය කිරීමයි. අනතුරුව එය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කොට මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති-නැති ඕනෑම අයෙකුට එහි අහිතකර ප්‍රතිඵල සිහිපත් කරලීම අපගේ දීර්ඝ කාලීන අරමුණ වන්නේ ය.

නෙතට නොගැටෙන වෛරසයක් අභිමුවෙහි මුළු ලොවම නතර වී ඇති කාලවකවානුවක වූවත්, නිතිවිරෝධී මත්ද්‍රව්‍ය ආනයනය-අපනයනය, නිෂ්පාදනය හා භාවිතය නතර වී නොමැති බැව් අවිවාදයෙන් පිළිගත යුතුය.

එනිසාම, ගෝලියකරණය සුළඟක් සේ හමායන, නූතන තාක්ෂණයට සිසුන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද අනුගත වී ඇති සමයක මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ වූව ද සමාජය යහමගට ගැනීමෙහිලා ලියෝවරුන් වන අප දරන මෙම ප්‍රයත්නය සාර්ථක වනු ඇතැයි තරයේ විශ්වාස කරන්නෙමු!



Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase