“විසඳමු 2022”

 කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනට යෙදෙන “විසඳමු” ව්‍යාපෘතිය පසුගිය වසරේ දී මෙන් මේ වසරේදීත්  ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව සංවිධානය කෙරිණි. “විසඳමු 2022” නම් වූ මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අදියර ත්‍රිත්වයකින් සංවිධානය වූවකි. මෙහි පළමු, දෙවන සහ තෙවන අදියර පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. මෙහි පළමු අදියර ලෙස පොදු මහජනතාව මුහුණ දෙන නීතිමය සහාය ඇවසි ගැටලු උදෙසා “නීති ආධාර සැපයීමේ වැඩසටහනක්” මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන්නට යෙදුණි.  මෙහි දෙවන අදියර ලෙස “නීතිය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්” ද, තෙවන අදියර ලෙස "මහජනතාව ගැවසෙන පොදු ස්ථානවලට නීති ග්‍රන්ථ බෙදාදීමේ වැඩසටහනක්ද" පැවැත්විණි.

සාමාන්‍ය පොදු මහජනතාව එදිනෙදා ජීවිතයේ දී නීතිමය සහාය අවැසි බොහොමයක් ගැටලු උදෙසා මුහුණ දුන්න ද ඔවුනට නීතිය පිළිබඳ පවතින නොදැනුවත්භාවයත්, ආර්ථික වශයෙන් පවතින දුෂ්කරතා ආදියත් හේතුවෙන් එම ගැටලු උදෙසා නිසි විසඳුම් ලබා ගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්වන අවස්ථා කොතෙකුත් ඇත. එයට යම් විසඳුමක් ලබා දීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින්, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සම්පත් දායකත්වය මත “Online නීති ආධාර කඳවුර” මැයින් සංවිධානය කරනට යෙදුණු නීති ආධාර කඳවුරක්  2022 පෙබරවාරි මස 25 වන දින zoom තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පොදු මහජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිළධාරීන් වන නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය, නීතිඥ පියුමි කුමාරි සමරසිංහ මහත්මිය, නීතිඥ කුසුමිනි කීර්ති කුමාරි මහත්මිය, නීතිඥ චිත්‍රා අබේරත්න මහත්මිය, නීතිඥ ජීවා රණසිංහ මහත්මිය යන මහත්මීන් සම්පත් දායකත්වය ලබාදෙමින් නීතිමය ගැටලු උදෙසා නීතිමය උපදෙස් ලබාදීම සිදු කරන ලදී.

තව ද යහපත් පුරවැසියෙකු වශයෙන් සමාජයේ ජිවත් වීමේදී තම රටේ මුලික නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත්භාවයක් තිබීම වැදගත් වේ. එය අරමුණු කොටගනිමින් මෙහි දෙවන අදියර ලෙසින් පාසල් ළමුන් නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී උසස්පෙළ සිසුන්ගේ සහභාගීත්වයෙන් 2022 මාර්තු මස 24 දින පැවැත්විණි. මෙම නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිළධාරීන් වන නීතිඥ කෞශල්‍යා හපුආරච්චි මහත්මිය සහ නීතිඥ තමරාශී වික්‍රමනායක මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

සමාජයේ ජීවත් වීමේදී සෑම පුද්ගලයෙකුටම නීතිය පිළිබඳ සාමාන්‍ය මට්ටමක හෝ දැනුමක් තිබීම වැදගත් වන නමුත් මෙරට සමාජයේ බහුතර පිරිසකට ඒ පිළිබඳ ඇත්තේ අල්ප දැනුමක් වීම කණගාටුදායක තත්ත්වයකි. එයට විසඳුමක් වශයෙන් සාමාන්‍ය පොදු ජනතාවගේ නෛතික සාක්ෂරතා මට්ටම ඉහළ නංවාලීමේ අරමුණින් මෙහි තෙවන අදියර ලෙසින් මහජනතාව විසින් දැනසිටිය යුතු ම මූලික නෛතික කරුණු ඇතුළත් ග්‍රන්ථ සාමාන්‍ය ජනතාවගේ පොදු පරිශීලනය උදෙසා මහජනතාව නිරන්තරයෙන් ගැවසෙන පොදු ස්ථානවලට බෙදාදීමේ වැඩසටහනක්  ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සහයෝගය සහ අධීක්ෂණය යටතේ පූජනීය ස්ථාන, පොදු මහජන පුස්තකාල හා ප්‍රාදේශීය සභා ආදී පොදු ස්ථාන කේන්ද්‍ර කරගනිමින් 2022 අප්‍රේල් මස 06 වන දින පැවැත්විණි.

මෙම “විසඳමු 2022”  ව්‍යාපෘති අදියරයන් සාර්ථකව සිදු කරගැනීමට අප ව්‍යපෘතිය සමඟ ඒකාබද්ධ වෙමින් සංවිධාන සහාය ලබා දුන් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවටත් විශේෂයෙන් එහි වත්මන් සභාපති ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මැතිතුමා හටත්, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිළධාරීන් හටත්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු. 

ලියෝ හිමේෂ් තාරුක

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase