ඔවුන්ට ලෝකයේ ලස්සන දැකිය නොහැකි නම් ඔබේ ඇස් දෙකෙන් ඔවුන්ට ලෝකය දැකීමට ඉඩ දෙන්න.

ඔවුන්ට ලෝකයේ ලස්සන දැකිය නොහැකි නම් ඔබේ ඇස් දෙකෙන් ලෝකය දැකීමට ඔවුන්ට ඉඩ දෙන්න..

 

ජීවිතය අප සැම දෙනාටම එක ලෙසින් සලකන්නේ නැත.එකිනෙකට වෙනස් වූ ඉරණම් අප හට හිමිවුවද අවසන් වන තුරුම ජීවිතය කෙසේ හෝ රැකගැනීමට මිනිසුන් වන අපට සිදු වී ඇත. පුංචි පුංචි සිදුවීම්වලින් ජීවිතය අත හැර දමා යන දහසකුත් පිරිස් අතරේ කුසට අහරක් නොමැතිව, හිසට සෙවණක් නොමැතිව,කිසිදු ආදරණීයෙකු නොමැතිව කෙසේ හෝ ජීවිතය ගෙනියන්නට අරගල කරන පිරිස් මේ ගෙන්දගම් පොළවේ බොහෝ වෙසෙනා බව නොරහසකි.

කළුතර මාක් ශ්‍රී සරණ සේවා නිවාසය යනු එවැනි වූ ආදරය හා රැකවරණය අවැසි වැඩිහිටියන්, විශේෂ අවශ්‍යතා ඇති තරුණ තරුණියන්,විවිධාකාර වූ මානසික තත්ත්වයන්ගෙන් හා වෙනත්රෝගාබාධ වලින් පීඩා විඳින දරුවන් දහස් ගණනකට සෙවණ සපයන නිවසකි.එහි වත්මන් අධ්‍යක්ෂකවරයා වන ගරු ජූඩ් ක්‍රිෂ්මන් පියතුමාගේ ආදරය හා මහත් වූ රැකවරණය යටතේ අද වන විට තුන්සියයකට අධික නිවැසියන් ප්‍රමාණයක් මධ්‍යස්ථාන දහයක් යටතේ සුවසේ වෙසෙති.

කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ සාමාජිකයන් යනු එවැනි වූ අවශ්‍යතා ඇති පිරිස් සොයාගෙන ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් විවිධාකාර වූ මානුෂීය ව්‍යාපෘති මෙහෙයවන කීර්තිමත් තරුණ සරසවි සමාජ ක්‍රියාකාරීන් පිරිසක් වන අතර ඔවුන්ගේ තවත් එක් දැවැන්ත සමාජ සත්කාර ව්‍යාපෘතියක් වන තීර්ථ ව්‍යාපෘතිය යනු අදියර තුනක් ඔස්සේ දියත් වන මානුෂීය ව්‍යාපෘතියකි. එහි දෙවැනි අදියර වූ 'තීර්ථ යාත්‍රා' වයාපෘතිය යනු සරණක් අවැසි මිනිසුන් සොයා ගිය සුවිශේෂී ප්‍රයත්නයකි. එහිදී ඔවුන් ඔරුවල සිංහ සමාජයේ සත්කාරකත්වයෙන් කටුකුරුන්ද මාක් ශ්‍රී සරණ සේවා නිවහනේ අධ්‍යක්ෂ පියතුමාගේ ඉල්ලීම පරිදි එහි සිටින නේවාසිකයන් සඳහා අත්‍යවශ්‍ය ආධාර බොහොමයක් ද රැගෙන ඔවුන් ගෙවන ඒකාකාර ජීවිතයෙන් මඳකට හෝ ඔවුන් මුදවා ගැනීමේ අරමුණින් පසුගිය මස 28 වෙනි දින ආදරය හා මානුෂීය ආධාර රැගෙන පුරවර සරසවියෙන් ඔවුන් සොයා ගමන් ආරම්භ කරන ලදි.මේ එහි මතකාවර්ජනයයි.

එකතු වූ සෑම ආධාරයක්ම ඔවුන්ගේ දිවිය දවසකින් හෝ යහපත් වේවායි යන උතුම් අදිටන් ඇතුව රැස් කරගන්නා ලද දේවල් වූ අතර මාක් ශ්‍රී නිවැසියන් අප එනතුරු නොඉවසිල්ලෙන් මඟ බලා ගෙන සිටිනු දැකීම අපට මහත් සතුටක් ගෙන දෙන්නක් විය.එතැන් සිට එම දවස පුරාවට ඔවුන්ගේ දිවිය ගත වෙන ආකාරය පියතුමා අපට ක්ෂේත්‍ර චාරිකාවක් මඟින් පැහැදිලි කරදුන් අතර කවුරුන් හෝ ඔවුන්ව බලන්නට එනතෙක් බලාගත් අත බලාසිටිනා ඒ අහිංසකයන් දුටු අප සියල්ලක්ම පාහේ සංවේදීව කඳුලු සලන්නට පටන් ගත්තත් කෙසේ හෝ ඔවුන්ගේ මුවගට සිනහවක් ගේන්නට අප ගීත ගායනා කරමින් ,ඔවුන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ව ආදරයෙන් වැළඳගතිමු. එදින අප සහභාගී වූ අති සංවේදීම ස්ථානය වනුයේ ඔවුන් යටතේම පාලනය වන 'මමා පපා නිවහනයි.' ගර්භණී කාලයේ අධික ලෙසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසාත්,අවදානම් සහගත කලල විනාශ කිරීමේ ප්‍රයත්නයන් හේතුවෙනුත් විකෘති ලෙස උපත ලද පූර්ණ කාලීන ආබාධිත දරුවන්, අර්ධ ආබාධිත දරුවන් හා විවිධාකාර වූ අසනීප

තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් බොහොමයක් කවුරුන් හෝ ඔවුන්ව බැලීමට පැමිණෙනකන් දෙනෙත් අයාගෙන සිටින පිරිස්
,තමන් ජීවත් වෙනවා දැයි කියාවත් නොදැන ඔහේ හුස්ම වැටෙනා පූර්ණ මානසික ආබාධයන්ගෙන් පෙළෙන දරුවනුත් අප දුටුවනම, අප සියල්ලන් මහත් සේ ශෝකයෙන් හඬන්නට වූහ.ඒ හෝරා කිහිපය තුළ පමණක් කවදා හෝ නොමැකෙන මතක ගොන්නක් සමඟ ජීවිතයට බොහෝ පාඩම් රැගෙන අප සමඟ මාස ගණනාවක් පුරාවට යාත්‍රා කළ සෙනෙහසේ යාත්‍රාවේ වූ සියලුම දෑ ඔවුන්ට බාර කොට යළි පිටත් වීමට නැව් නැග්ගේ මෙවැනි වූ ස්ථානයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ලියෝවරුන් වශයෙන් නිහතමානී ආඩම්බරයට පත්වෙමිනි. එදින උන්වහන්සේගේ මුවින් පිටවූ මේ වාක්‍යය නම් කිසිදා මතකයෙන් නොමැකෙන්නකි.

“පුතේ රත්තරන් පිඟානක දාලා කන්න දුන්නත් වැඩක් නෑ එතන ආදරේ නැත්තම්...”

 

 

 

Comments

Popular posts from this blog

Leo Infinity

Caring for two lives,supporting one journey

Plant a Hope 8.0 – Phase 2: Ocean Guard