සහෘද යාත්‍රා - 4.0

කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලබන සහෘද‍ යාත්‍රා 4.0 ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙස ‘සහෘද සවිය' පියවර තුනක් යටතේ පැවැත්විණි. එහි ප්‍රථම පියවර අත්තිඩිය මිහිඳු සෙත් මැදුර පරිශ්‍රයේ දී පසුගිය පෙබරවාරි 17 සහ 18 දෙදින තුළ දී පවත්වන ලදී. ආබාධිත රණවිරුවන්ගේ පහසුකම් සංවර්ධනය හා ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රථම පියවර සංවිධානය කරනු ලැබූ අතර ඒ සදහා කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන් සහ සහෘද යාත්‍රා ව්‍යාපෘතියේ සභාපතිනිය ඇතුළු සාමාජිකයන් ද ලියෝ සමාජයේ සාමාජිකයන් ද සහභාගි වුණි. සේනා විධායකතුමාගේ සහ උප සේනා විධායකතුමාගේ ප්‍රධානත්වයෙන් ප.ව. 3.00ට වැඩසටහන ආරම්භ වූ අතර එහිදී ආබාධිතව දෙපා වාරු නොමැතිව එක්තැන් වී සිටින රණවිරුවන් කීහිපදෙනෙක් මුණ ගැසීමට ලැබූ අවස්ථාව අප සැමට ඉතා සංවේදී අවස්ථාවක් බවට පත්‍ වුණි. 

ඉන්පසු අප සැම ආබාධිත රණවිරුවන් සමඟින් ම භෝජන ශාලාවේ අසුන්ගත් අතර එහිදී මිහිඳු සෙත් මැදුර හැඳින්වීමක් ඇතුලත් වීඩියෝ පටයක් නරඹන ලදී. අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපති ලියෝ හරිත විමුක්ති සහ සහෘද යාත්‍රා ව්‍යාපෘති සභාපතිනිය ලියෝ මල්ෂා දේවින්දි විසින් නේවාසිකව ප්‍රතිකාර ලබන අභීත රණවිරුවන්ගේ කාමර ආලේපනය සඳහා තීන්ත ලීටර 20ක් සහ පිලර් කි.ග්‍රෑ. 20ක් මෙන්ම තීන්ත ආලේපන බුරුසු කීපයක් ද සේනා විධායකතුමන් හට පරිත්‍යාග කරන ලද අතර ඒ සදහා ස්තූති ලිපියක් ද පිරිනැමුණි. අප විසින් සංවිධානය කරනු ලැබූ සංග්‍රහයක් අප සැමගේ එකමුතුවෙන් ඔවුන්ට පිළිගන්වනු ලැබුවේ ඉතාමත් සතුටිනි. සංග්‍රහයෙන් පසුව අප ලියෝ සමාජයේ සංගීතමය දක්ෂතාවලින් පරිපූර්ණ සාමාජික සාමාජිකාවන් එක්ව ගීත ගායනා කරමින් ආබාධිත රණවිරුවන්ගේ මානසික සහනයක් ලබා දීමට සමත් වුණි. වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් ව්‍යාපෘති සභාපතිනිය විසින් ස්තූති කතාව පැවැත්වීමෙන් පසු පැමිණ සිටි සියලුදෙනා සමඟින් ඡායාරූපයකට එක් වී ප.ව.4.30 වන විට වැඩසටහන නිමා කෙරුණි. 

පෙබරවාරි 17 වන දින පරිත්‍යාග කරන ලද තීන්ත ආලේපනය කිරීම සදහා පෙබරවාරි 18 වන දින පෙ.ව.10 සිට ලියෝ සමාජයේ 306 C1 දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නියෝජිතයන් මෙන් ම කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ සාමාජිකයන් ද අත්තිඩිය මිහිඳු සෙත් මැදුරට පැමිණුනි. සියලුදෙනා එක්ව තීන්ත ආලේපයෙන් පසුව ලද මානසික තෘප්තිය අපට මහත් සහනයක් ගෙනදුණි. 

සහෘද සවිය වැඩසටහනේ දෙවන පියවර වශයෙන් පසුගිය පෙබරවාරි 25 වන දින ආබාධිත කුඩා දරුවන්ගේ ජීවන තත්ත්ව ඉහළ නැංවීමේ අරමුණින් කෝට්ටේ සෙවණ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දී එම දරුවන්ට අවශ්‍ය උපකරණ හා ත්‍යාග ප්‍රදානයක් සිදු කෙරුණි. එදින පෙ.ව. 9.30 වන විට ලියෝ සමාජයේ සාමාජික සාමාජිකාවන් සියලුදෙනා රැස් වී වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ දරුවන් සමඟ සුහද කතාබහක යෙදීමෙන් අනතුරුවයි. 

ළමා නිවසයේ ප්‍රධාන භාරකාරතුමියගේ ප්‍රධානත්වයෙන් සහෘද යාත්‍රා4.0 ව්‍යාපෘතියේ සභාපතිනිය ලියෝ මල්ෂා දේවින්දි සහ සමසභාපති ලියෝ කවිදු ශෙහාන් විසින් දරුවන්ට අවශ්‍ය අත්වාරු හතරක් ඒවායේ අවශ්‍යතාවය ඇති ආබාධිත දරුවන් සදහා ප්‍රදානය කරන ලදී. එමෙන් ම අත්වාරු සදහා අවශ්‍ය රබර් බුෂ් ද ප්‍රදානය භාරකාරීතුමිය වෙත ලබා දීමෙන් පසුව එතුමිය කරන ලද ස්තූති කතාව අප සැමගේ හිත් තුළ සතුටක් ගෙන දුනි. පසුව දරුවන්ට කුඩා ත්‍යාග පිරිනැමීමෙන් පසුව ඔවුන් සමඟ එක්ව ගීත ගායනා කරමින් සතුටු වීමට ද අප අමතක නොකළෙමු. ඉන් අනතුරුව අප විසින් සූදානම් කෙරුණු සංග්‍රහය ඔවුන් වෙත පිළිගැන්වූයේ සියලු සාමාජිකයන් එක්වයි. සහෘද යාත්‍රා ව්‍යාපෘතියේ සභාපතිතුමිය විසින් පවත්වන ලද ස්තූති කතාවෙන් අනතුරුව වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් කෙරුණි. 

සහෘද සවිය අදියරේ අවසන් පියවර වශයෙන් ආබාධිත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ දක්ෂතා එළි දැක්වීමට අවශ්‍ය අඩිතාලම සපයා දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ දායකත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයේ නිල පුවත්පතට සහ බ්ලොග් පිටුවට ලිපි සහ නිසැදැස් යොමු කෙරුණි. ඒ සදහා ශිෂ්‍යයාවන් තිදෙනෙක් නිර්මාණ ඉදිරිපත් කළ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ සදුනි සචේතනිකා සොයුරිය ලිපියක් ද කොළඹ විශ්ව විද්‍යාලයේ භාවනා සෙහානි හා රසාරා ලියනගේ සොයුරියන්ගේ නිසැදෙස් ද පල කරන ලදී. එමඟන් අප සතු සම්පත් භාවිතයෙන් ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර දුනි. 

මේ අනුව ‘සහෘද සවිය' නම් සහෘද යාත්‍රා 4.0 ව්‍යාපෘතියෙහි තෙවන අදියර, පියවර තුනක් යටතේ සාර්ථකව අවසන් කරන ලදී. මේ සමඟින් උතුම් වූ මනුෂ්‍යත්වයට අරුතක් එක් කිරීමේ අරමුණින් දියත් කරන ලද සහෘද යාත්‍රා 4.0 ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ පියවර හතකින් ඉතාමත් සාර්ථකව අවසන් කරන ලදී.

ලියෝ  කවින්දි විජේසිංහ

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase