විසඳමු - දෙවන අදියර

මහජන බදු මුදලින් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ප්‍රජාවක් සතු ස්වකීය සමාජයීය වගකීම් ඉටු කිරීමෙහිලා ක්‍රියාත්මක වූ විසඳමු ව්‍යාපෘතියෙහි දෙවන අදියර අතිශයින්ම සුවිශේෂී වූවකි. කඳු අතර දාහය හෙළමින් තේ දල්ලෙන් ජාතික ආර්ථීකය නගා සිටුවන්නට  කැප වූ උඩරට වතු කම්කරුවන්ගේ දෛනික නෛතික ප්‍රශ්න කේන්ද්‍ර කර ගනිමින් “කඳුරට ට Law නමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විණි. උඩරට වතු කම්කරුවන්ගේ නෛතික ගැටළු සදහා විසදුම් සොයා දෙමින් නීතීඥ සහය ලබා දීම මෙහිදී සිදු කෙරෙන්නට විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ සහයෝගය සහ ස්වේච්ඡා නීතීඥවරුන්ගේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට හැකි විය. 2024 පෙබරවාරී 17 වන දා දවස පුරා නුවරඑළිය ආගරපතන වතු යායේ සුදර්ශනාරාමය විහාරස්ථානයේදී සංවිධානය කරන්නට වූ මෙම නීති ආධාර කඳවුර සඳහා ප්‍රදේශවාසී වතු කම්කරුවන් 250කට අධික පිරිසගේ සහභාගීත්වයක් පැවතිණි.

ආරම්භයේදී ව්‍යාපෘතිය පිළිබදව පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවති අතර එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ව්‍යාපෘති කළමණාකාරී චතුරි ජයවර්ධන, ආගරපතන පොලිස් ස්ථානයේ අධිකරණ කටයුතු සම්බන්ධ පොලිස් නිළධාරී වීරසුන්දර රාජා, ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ අයේෂ්මන්ත ගයාන් සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපති ලියෝ ෂමෝද් අන්ජන යන පිරිස විසින් දමිළ භාෂා පරිවර්තන සහය ඇතිව රැස්වූ ජනතාව ආමන්ත්‍රණය කරන්නට විය. අනතුරුව ගෘහස්ථ හිංසනය, ලිංගික අපරාධ සහ මානව හිමිකම් පිළිබදව  දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන්නට විණි. එම වැඩමුළුව ක්‍රියාත්මක වන පසුබිම තුළදීම විහාරස්ථ ධර්ම ශාලාවේදී නොමිලේ නීතීඥ උපදෙස් ලබා දීමේ  නීති ආධාර කඳවුර පවත්වන්නට විය. ඒ සඳහා හැටන් නීතීඥ සංගමයේ නීතීඥ මහත්ම මහත්මීන් ඇතුළු ස්වේච්ඡා නීතීඥවරුන්ගේ ස්වේච්ඡාමය සහයගෝය ලැබිණි. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ස්වේච්ඡා සහභාගීත්වය නීති ආධාර කඳවුරෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය සදහා නොමද සහයක් විය.

ප්‍රදේශවාසී වතු කම්කරුවන් බහුතරයකට ඉඩම් ඔප්පු සහ ජාතික හැදුනුම්පත් සම්බන්ධ ගැටළු පොදුවේ හඳුනාගන්නට හැකි වූ අතර ඒ සදහා ක්‍රියාත්මක විය යුතු ආකාරය නීතීඥවරුන් විසින් දැනුවත් කෙරෙන්නට විය. ව්‍යාපෘතියේ ඵලදායී බව වටහාගත් ප්‍රදේශයේ කාන්තා සංවිධාන විසින් ව්‍යාපෘතිය සංවිධානය කෙරෙන්නට වූ ප්‍රාථමික අදියරේ සිට ම උපකාර කරන්නට වූ අතර එදින දිනය පුරා ස්වකීය කාන්තා සංවිධානයේ සාමාජිකාවන්ගේ සහය සහ සහභාගීත්වයද ලබා දෙන්නට විය.

මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රෙය් නිළධාරීන් ද ඇතුළුව කොළඹින් පිටත් වූ සාමාජිකයින් 30කගේ පිරිසට එදින දවසේ සාර්ථකත්වය ළගා කරගන්නට හැකි වූ අතර ව්‍යාපෘතිය අවසානයේ ලියෝ තෙරුවන්දි එදිරිසංහ විසින් ස්තුති කතාව සිදු කරන්නට වූ අතර සුදර්ශනාරාමාධිපති ස්වාමීන් වහන්සේ විසින් සෙත් පිරිත් දේශනාවක් සිදු කරන්නට ද විය.  

සුන්දර තේ වතු අතරින් වැටුණු දුෂ්කර මාවත් ඔස්සේ සඵලදායී මානුෂීය මෙහෙවරක අවසානය එලෙස සනිටුහන් කරන්නට විය.

සටහන,

ලියෝ කවීෂ මයුරංග.

Comments

Popular posts from this blog

Project SURVIVAL - Phase 01

විසඳමු - Phase 01

Sindu Nala Raksha 8.0 - 2nd Phase